2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

තරැණ ප්‍රඥප්ති පොළවට බස්සමු ද?

 2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 147

සම්මුති, කමිටු වාර්තා, ප්‍රඥප්ති යනු වදන් වැලක් නොවේ. රටක ජාතික ප්‍රතිපත්ති සැකැසීමේ ගමන්මගේ සංධිස්ථානය. එහෙත් ලංකාවේදී මේ බොහෝ දේ සැරසිලි වචන මිස යථාර්ථය නොවේ. ශ්‍රී ලාංකික තාරැණ්‍ය මුල් කරගත් ප්‍රතිපත්ති සකස් කිරීමේදී ද මේ වචන මීට වෙනස් නැත. දැනුම් කේන්ද්‍රයක් ගැන එක දිගට කතා කළත් සුළු සේවකයන් ලෙස හෝ තරැණයන් කොරියාවට බැරි නම් ඕනෑම තූත්තුකුඩියකට පැටැවීමේ යථාර්ථය පසුපස ඇත්තේ එයයි. නිශ්චිත ආර්ථික දර්ශනයක් නොමැති වීමේ පාපයට වන්දි ගෙවන බහුතර පිරිසක් බවට මේ රටේ තාරැණ්‍ය පත්ව තිබේ. 
නිදසුනකට මාර්තු මාසයේදී නේපාලයේ පැවැති සාක් තරැණ ප්‍රඥප්තියේදී ප්‍රධාන වශයෙන්ම අපේක්ෂා කළ කරැණු හතරක් විය. ඒ තරැණයන්ගේ සෞඛ්‍ය, යහපැවැත්ම, අයිතිවාසිකම් සහ හැකියාවන් ප්‍රවර්ධනය කිරීමයි. එම අරමුණුවලට ළඟාවීමේදී දකුණු ආසියානු කලාපයේ තරැණයන්ගේ දැනුම ලබාගැනීම තුළින් ජාතික සංවර්ධනය වේගවත් කිරීමටත්, තරැණයන් සඳහා ප්‍රතිලාභ අත්කර දෙමින් කුසලතාවන් හා අවස්ථාවන් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් සියල්ලන්ටම රුකියා අවස්ථාවන් ලබාදීමත් එමඟින් තවදුරටත් අපේක්ෂා කෙරිණි. දැන් සාර්ක් අමාත්‍යවරැන්ගේ 36 වැනි සැසි වාරය නිමා වී මාස ගණනක් ගතව තිබේ. ගත වූ කාලයේදී මේ අරමුණු වෙතට ළඟාවීම  පිණිස මේ රටේ තාරැණ්‍යය අත්දුටු අත්විඳි දේශපාලන කැපවීම කොතෙක්ද? විෂය බාර ඇමැතිවරැන්ගෙන් මේ පැනය ඇසුවහොත් ඉතාම සාරගර්භ පිළිතුරක් ලැබෙනු ඇත. එය නිසැකය. එහෙත් යථාර්ථය නම් ගත වූ දශක ගණනක මෑත දේශපාලනයේ මෙවැනි පිළිතුරැ රුසක්ම කිසිදා ප්‍රතිපත්ති බවට පත් නොවී අච්චු අකුරැවලට සීමා වී ඇති බවයි.
තරැණයන් මත්ද්‍රව්‍යට යොමුවීමත් අපේක්ෂාභංගත්වයත් අතර තිබෙන්නේ අන‍යෝන්‍ය සම්බන්ධයකි. කත්මණ්ඩුවලදී උත්කර්ෂයෙන් අස්සන් තැබුණු හා අපරානුමත කළ ප්‍රඥප්තිය යථාර්ථයක් වන්නේ මෙවැනි ඇස් පනාපිට පෙනෙන දේ සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියායාපිළිවෙත් අනුවය. මෙරටට මත්ද්‍රව්‍ය ආනයනය කරන හා වෙළෙඳාමේ නිරත පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් අල්ලාගෙන පහුගිය ඡන්ද කාලයේ නටපු නැටුම දැන් බොහෝ දෙනෙකුට අමතකය. එහෙත් අද වනතුරැ ඒ ලැයිස්තුව මේ රටේ මිනිසුන්ට දැකබලාගන්නට අවස්ථාවක් ලැබුණේ නැත. ඡන්ද කටේ තියාගෙන කළ වැඩෙන් කවුරැ හෝ ගොඩ ගියා මිස වූ සෙතක් තිබේද? ලංකාවේ යථාර්ථය කත්මණ්ඩුවලදී ටයි පටි පැළඳ පැමිණෙන ලොකු මහත්වරැ කවුරැ නම් දනිත් ද? 
සාද කතා ලතා නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සාකච්ඡාමය පාර්ශ්වයයි. එය ප්‍රජාතන්ත්‍රවාදය නමැති විසල් අශ්වයාගේ එක් කලාපයක් පමණි. සොක්‍රටීස් කීවා මෙන් ඌට ඇන පණගන්වන්නට ඇට මැස්සන් අවශ්‍යයය. තාරැණ්‍යයට අදාළව ගත්විට මේ ඇටමැසි භූමිකාව කිසිදු දිනෙක ඇමැති මැතිවරැන්ගෙන් බලාපොරොත්තු වන්නට බැරිය. ඊට හේතුව ලංකාවේ කතා සාප්පුවක් බවට පත් දේශපාලනයේදී වැඩ කරන මහජන නියෝජිතයන් සොයාගැනීම කෝඳුරැ තෙල් සෙවිල්ලෙන් වෙනසක් නොවන නිසාය. රටේ ජනගහණයෙන් තුනෙන් එකක් වන පිරිස පාට පක්ෂ භේදයෙන් තොරව මේ ගැන විමසිලිමත් විය යුත්තේ මේ පසුබිමේය. මන්දයත් සියලු මහේශාක්‍ය උත්සවවල දියවන්නේ ඔබේම දහදියෙන් රජයට පොම්ප කරන බදු මුදල් නිසාය. 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00